ගැහෙන හදවත 7 - ආදරයට ආදරයෙන්.....
Sangeethaya.lk
ගැහෙන හදවත 7 - ආදරයට ආදරයෙන්.....


අතීත පුරුදුත් එක්ක වර්තමානයට ආපු අපිට, අද දවසේ මානව සබඳකම් පවත්වාගැනීම ප්‍රශ්ණයක් උනේ කොහොමද? කොච්චර උත්සාහ කලත් ආදරය කරන අපි, හැම වෙලාවේම පරාද වෙන්නේ ඇයි? ජීවිත කාලෙම හුස්මට හුස්ම තියාගෙන පපුවට පපුව තියාගෙන ආදරයක් කරන්න දැන් කාලේ අපි අසමත් උනේ කවද ඉදන්ද? අපි එකිනෙකාට ආදරේ කරන හැටි අමතක කලාද? එහෙම නැත්තම් අපි ආදරේ අමතක කලාද?එහෙමත් නැත්තම් ආදරේ මිනිස්සුන්ව අමතක කලාද?
ඇත්තටම අපි අසමත්. අපි සුදානම් නෑ ආදරය කරන්න. අපි සුදානම් නෑ කැපකිරීම් කරන්න. අපිට ආසාවක්, උවමනාවක් නෑ ඉමක් තෙරක් නැති අසීමිත ආදරයක් විඳින්න. ආත්මාර්ථය උඩු දුවපු අපිරිසිදු ලේ දුවන අපි කැමති නෑ තවත් කෙනක් වෙනුවෙන් සියලු කැපකිරීම්, දරාගැනීම් කරන්න. අද කරන කැපකිරීම හෙට දවසේ ජීවිතේම ලස්සන කරන ආදරය වෙනුවෙන් කරන ආයෝජනයක් බව අපිට පේන්නේ නෑ. රළු ගල් පර වල වැදිලා බිදිලා විසිරිලා ආයෙමත් එකතු වෙලා සයුර දකිනතුරු නොනැවතී ගලන ගඟක ලස්සන අපි දන්නේ නෑ. අපි ලේසියෙන් ජීවත් වෙන්න හිතනවා. සල්ලි හොයන්න හිතනවා. ආදරේ කරන්න හිතනවා. හැබැයි පුංචිම පුංචි අභියෝගයකට, අඩුපාඩුවකට පුළුවන් අපිව දෙකට කඩලා බිමට සමතලා කරන්න. අපි ලැස්ති නෑ අභියෝගයට. අපි අපි ගැන දන්නේ මොනවද? අපි අපේ පපුවලට යටින් තියෙන හදවතට එබුනද එක දවසකට හරි? අපේ ආදරේට පැළවෙන්න, දළුලන්න ඉඩදුන්නද? පුංචි අත්වැරදීමකට, අඩුපාඩුවකට, නොගැලපීමකට පස්සේ අපි හැමදේම අත ඇරලා දැම්ම නේද? ඇත්තටම අපි ඒ ජීවිත අභියෝගයට මුහුණ දෙන්න අසමත් නේද?

අද අපි ආදරේ කරන්නේ ජීවිත ආශ්වාදයට. සුළු මොහොතක උද්යෝගයට. ක්ෂණික සහනයට. සිනමා ශාලාවක අඳුරු මුල්ලක, DJ පාටියක, Night Club එකක ආදරේ හොයන අපි චිත්‍රපටිය ඉවර වෙද්දී, සංගීතය නවතිද්දී එකත් එක්කම ආදරේ කරන එකත් නවත්තනවා. දැන් අපිට ඕනේ එහෙම ආදරයක්. මේ මොහොත ජීවත් වෙන්න, රසවත් වෙන්න විදියක්, දෙයක්, කෙනෙක්. දුක වගේම සැපත් යස වගේම අයසත් අපිට එන දවසට ඒ මහා නිශ්ශබ්ද්දතාව දරාගන්න අපිට පුලුවන්ද? ක්ෂණික ආශ්වාදී ප්‍රේමයට ඒ අඳුරට හුළු අත්තක් වෙන්න පුලුවන්ද? ආදරේ කියන්නේ පුම්බල අතාරින බැලුමක් නෙමෙයි.

හම, මස් ලේ ඉරාගෙන ඇටමිදුළු වලට කාවදින්න කාට හරි ආදරේ කරන්න. ජීවිතේ ඒ අදුරු මූසල දවස එද්දී ඒ පිරිසිදු ආදරයේ උරහිසට හේත්තු වෙන්න. ජීවිතේ ජීවත් වෙනවා දැනෙයි එතකොට. ඒ නිශ්ශබ්ද්දතාව දරාගන්න ඔයාගේ හිතේ හයියට තව හිතක් පොඩ්ඩක් එපිටින් ගැහෙන හඬ ඇහෙයි එතකොට. නන්දා මාලනියගේ සින්දුවක තියෙනවා.”අහස සේ ඔබ අනන්තයි..සයුර සේ ඔබ අනන්තයි..මේ විශ්වයේ මා දකින්නේ...ඔබමැ පමණයි...ඔබ අනන්තයි..” කියල. ජීවිතේ එකම එක වතාවක් හරි එහෙම ආදරයක් කරන්න..ඒ ආදරේට ආදරේ දෙන්න..ඒ ආදරෙන් තව ජීවිත වලට පන දෙන්න.. මේ ලෝකේ ආදරේ අදුනන මිනිස්සුන්ගේ තැනක් කරන්න...

අපි ජීවිතේ පුරවාගෙන තියෙන්නේ මොනවද? යාන වාහන, මිල මුදල්, ඉඩ කඩම්, උපාධි සහතික අස්සේ අපිට ආදරේට වෙන් කරන්න ඉඩක් නැති උනා නේද? අපිට ආදරේ කරන්න වෙලාවක් කෝ? සම්බන්ධතා ඇති කරන්න අලුත් කරන්න අවස්ථාවක් කෝ? විනාඩි දෙකෙන් නුඩ්ල්ස් කෑවට මිනිස් හිත එච්චර වේගයෙන් සම්බන්ධකම් හදාගන්නේ නෑ. මේ ක්ෂණික ලෝකේ අපිට ඒ වෙනුවෙන් ඉවසීමක් නෑ. අපි හරිම කාර්යබහුලයි. පොඩ්ඩක් වටපිට බලන්න...පහසුවෙන් ලැබුන මානව ඇසුරක් විනා අපි දුක් විදලා කැප කිරීම් කරලා දිනාගත්තු මිනිස්සු ඉන්නවද අපි ළඟ?

අප හැම දේකින්ම තාවකාලික තෘප්තියකි පුරුදු වෙලා..-අන්තර්ජාලයේ පල කරන ලිපියකින්,තෝරාගන්නා රැකියවකින්, කන කෑමකින්  ඒ වගේම ආදරය කරන ජීවිතෙන් බලපොරොත්තු වන්නේ තාවකාලික සංතෝසයක්. කාලයත් සමග ගොඩනැගෙන මුහුකුරාගිය බව, පැහිච්ච් කම , එත් එක්ක එන හැඟීම්බර සම්බන්දතාව, නන්නාදුනන්නෙක් තමන්ගේ කරගන්න තරම් පපුව අස්සෙන් එන කැක්කුම.. මේ ඔක්කොම ලස්සන ආදරේකට අත්‍යාවශ්‍ය දේවල්....පෙනෙන හැටියට, අපට කිසිම දේක කිසිම වටිනාකමක් නැහැ- ආදරයේ දී පවා අපේ කාලය හා ඉවසීම ඒ වෙනුවෙන් කැප කිරීමට අප ලැස්ති නැහැ....

අපි මේ සමාජය දිහා බලන්නේ කොහොමද? අපි හරි සමාජශීලි වෙලා. මිනිස්සු 100ක්  එක්ක පැය පැය ගතකරන්න අපි කැමතියි. එත්, එක්කෙනෙක් එක්ක දවසක් ගත කරන්න අපි අකමැතියි. අපි දැන් විශ්වාස කරන්නේ විකල්ප ගැන. මිනිස්සු හදුනාගන්න ගන්න අපි කැමතියි, එත් ඒ මිනිස්සුගේ ජීවිත අස්සට එබිලා ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට වෙලාවක් නෑ. උවමනාවකුත් නෑ. අපි තණ්හාවෙන් අගතැන්පත් වෙලා. අපිට හැම දෙයක්ම ඕන. හැම දෙකම අයිතියක් තියෙන්න ඕන. එක තමා දැන් කාලේ අපේ ආසාව. බොහොම පුංචි දෙයකට ආසාවෙන අපි, සම්බන්ධකම් හදාගන්න අපි, ඊටත් වඩා පුංචි දෙයක් ඉස්සරහට දාල වෙන් වෙනවා. නැත්තම්, ඊට වඩා හොද විකල්පයක් දැක්ක ගමන් හැම දේම අතාරිනවා. මොකද අපි විකල්ප විශ්වාස කරන නිසා, අවංක ආදරය අදහන්නේ නැති නිසා.

තමන්ගේ කොටසක් විදියට අනික් කෙනාව දකින්න, අඩුපාඩු හදාගන්න ශක්තියක් වෙන්න, ඔහුව හෝ ඇයව විශ්වාස කරන කෙනක් ඉන්න බව කියන්න… නෑ...අපිට ඒවගේ දේවල් ගැන ගාණක්වත් නෑ.. අපි හැම කෙනෙක්ම ආශ්‍රය කලාට ඔවුන්ට අපේම වෙන්න අවස්ථාවක් දීල නෑ..අපිට මුණගැහෙන හැමෝම පරිපුර්ණ වෙන්න ඕන කියල හිතන අපි අන්තිමේදී හැමෝම ගැන කලකිරෙනවා. එත් ඇත්තටම අනික් හැමෝමත් අපි ගැන කලකිරිලා ඇති කියල අපි නිකමටවත් හිතන්නේ නෑ.

තාක්ෂණය කොච්චර අපිව ලං කරලද? කොච්චරද කියනවනං හුස්මගන්නවත් ඉඩක් නොතියා facebook එකේ status වලින් sms, video call වලින් අපිව පුරවලා..තවත් කතා කරන්න දෙයක් නැති තරමට අපි දැනුවත් වෙලා … එත් ඒ සමීප බව අස්සේ අපි කොච්චර දුරස් වෙලාද?

අපි ඇවිදින්න පටන් අරං..ජීවිතෙත් අරං..., එක තැනක මොහොතක් රැදිලා අවට බලන්න..ඒ නිදහස විදින්න අමතක වෙලා..අපි කැපකිරීමට බය වෙලා.. "පවුල්-පංසල්" වෙන්න  අකැමැති වෙලා; ඒ සිතුවිල්ලට  පවා බය වෙලා...ජීවිතය පුරාවට ඇහේ මුණේ තියාගෙන කරන ආදරයක්  ගැන හිතන්නවත් අපි සූදානම් නැහැ. අපි ඉවත් වෙලා යන එක විලාසිත්වක් කරගෙන... අපිට පෙන්නේ ස්ථිර සම්බන්දතා සමාජ භීතිකාවක් වගේ.. අපිට අනුන්ගෙන් "වෙනස්"  වෙන්න ඕන වෙලා.. සමාජ සම්මුතීන්ගෙන් අපිව බඳිනවා කියල දැනෙද්දී අපිට වෙනස් වෙන්න හිතෙනවා..කොච්චර හොද දෙයක් උනත් අපි ඒ සම්මුතීන් කඩල බිදලා දාන්න උත්සාහ කරනවා..

"මෛතුනයේ නිදහස" විඳින පරම්පරාවක් විදියට ලේබල් එකක් ගහගන්න අපි හරි ආසයි.... "සෙට් වෙන" "වෙන් වෙන" සමාජ කුලකයක් විදියට අපි  මුලින් කායික සන්තර්පණය කරලා පස්සේ ඒ මිනිත්තු කීපය අස්සේ ආදරය තිබ්බද කියල හොයන්න ගන්නවා .ලිංගිකත්වය හරි ලේසියෙන් ලැබුනට එකම තාලෙකට හදවත් දෙකක් ගැහෙන එක, එක හදවතක් අනික් හදවත සම්පුර්ණයෙන් විශ්වාස කරන එක  ඒතරම් පහසුවෙන් ලැබෙන්නේ නෑ…අද සමාජය ආදරේ කියන එක open relationships, friends with benefits, casual flings, one-night stands, no strings attached වගේ මේ මොන නමකින් කිව්වත් මේ හොයන්නේ තමන්ගේ කායික කාමුක අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීම මිසක්, සුන්දර ආදරයක අවසානයේ පියවි සිහියෙන් සිද්ධ වෙන යුවලකගේ එක්වීම නෙමෙයි... රාගයම ප්‍රේමය කියල හිතන පරම්පරාවට කලින් පරම්පරාවේ සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක මෙහෙම ලියනවා.. “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි..පාරිශුද්යයි..සුරම්‍යයි.. ” එහෙම ආදරයක් අපිට උරුමද?

තර්කයෙන් පමණක් දිවෙන ප්‍රායෝගික පරම්පරාවක් වෙච්ච අපිට  "පිස්සුවෙන්" ආදරය කරනවා කියන එක ආගන්තුක වෙලා.. ආදරේ හොයාගෙන රටකට පියාඹලා යන්න උවමනාවක් නෑ...සමහර වෙලාවට  දෙන්නා අතර තියෙන භෞතික දුර පමණක් ම සම්බන්දතාවක් කෙළවර කරන්න කරුණක් වෙලා..අපි බියගුල්ලෝ වෙලා -අදරයට බය වෙලා.., කැප කිරීම් කරන්න බය වෙලා.. කඩා වැටීමට, සිත් බිඳීම් වලට රිදවීම් වලට බය වෙලා... අප විසින්ම නිර්මාණය කරගත් මායිම් වලට මුවා වෙලා , ආදරය දැනෙන හසුවන මොහොතෙන් පලා යන්නේ පස්සවත් නොබලා , ඒ අපි ආදරය දරා ගැනීමට තරම් සූදානම් නැති නිසා...

අතට අහුඋන ඉරිඟු කරළ පොඩ්ඩක් කාලා විසි කරලා තව ලොකු රස කරලක් හොයන්න අපි ඉස්සරහට යනවා..හැමතිස්සෙම අපි මේකම කරනවා..හැබැයි පස්සේ තමා තේරෙන්නේ මුලින්ම කාල විසි කරපු කරළ කොච්චර රහද කියලා…

ඩාවින්ගේ පරිණාමවාදයේ උච්චතම අඩවියක සෙල්ලක්කාරයන් වන අපි, අපට ලබා ගත ලඟාකරගත නොහැක්කක් නැති ලෝකයේ, පරමාර්ථ මානව බැඳීමක් වූ "ආදරය" විදින්න , තවකෙකුට පරිත්‍යාග කිරීමට අපොහොසත් වෙලා,, දියුණු වෙච්ච ලෝකෙක ආදරෙන් අපි ආපස්සට යනවා..කොච්චර දුක හිතෙන කතාවක්ද??

ආදරේ විශ්වාස කරන්න පුරුදු වෙන්න...අඩු පාඩුකම් හදාගන්න ඔබේ ආදරයට උදව් වෙන්න..කලුම කළු මිනිස්සුත් නැති සුදුම සුදු මිනිස්සුත් නැති මේ ලෝකේ..තමන්ගේ ආදරේ සුද හොයාගන්න...කහ වතුරෙන් හෝදලා..පිරිසිදු රෙදි කඩක ඔතල..අපි පඬුරු දාන්නේ දෙවියන්ට..හදිස්සියෙන්වත් දෙවියෝ පඬුරක් විදියට ලස්සන ආදරයක් දුන්නොත් අපේ අතට..අපි කොච්චර ආදරෙන් බලාගන්න ඕනෙද.. පරිස්සම් කරන්න ඕනෙද…වදින්න ඕනෙද..පුදන්න ඕනෙද..අන්න ඒතරම් පුජනීයයි “ආදරය..” නන්දා මාලනිය මෙහෙම ගැයුවා.. “ දෙවියන් විසින් දුන් - පඩුරක් ලෙසින්.. ප්‍රියයානනේ ඔබ - සුරකිම් බැතින්…”

ඉතිං..එහෙම රත්තරං ආදරයක් කරන්න ඔබේ හිතට ශක්තිය ලැබේවා..එහෙම පුජනීය ආදරයක් පෙරලා ලබන්න ඔබට වාසනාව ලැබේවා..සදා ජය!!!
                                                           ගැහෙන හදවතට ලිව්වේ හර්ෂ පෙරේරා සහ සඳුන් දසනායක 


Posted Time: 29/04/16 09:02:55 PM
News Views:973