ගැහෙන හදවත 6 - එපා හිරු පායන්න
Sangeethaya.lk
ගැහෙන හදවත 6 - එපා හිරු පායන්න


5ට ලෙඩ්ඩු බලන්න ගියපු මිනිස්සු එක්කෙනා දෙන්නා එලියට එද්දී හවස 6 වෙනකං ඔරලෝසුව දිහා ඉවසිල්ලක් නැතුව සුහස් බලං හිටියා.. රතු පාට ප්‍රාඩෝ එක ගේට්ටුවෙන් එලියට දානවත් එක්කම අළු පාට ගේට්ටුවෙන් ඇතුලට පැන ගත්තු සුහස් එක හුස්මට දුවන්න ගත්තා.... බුදු පිළිමේ පහුවෙනවත් එක්කම තියෙන බෝධිය දිහා බලලා ආයෙත් සුහස් වේගේ වැඩි කළා... ආපන ශාලාව ලගින් දකුණට හැරිලා කොරිඩෝවෙන් අඩියට දෙකට පඩි පෙළ නැගල සුහස් තව හුස්මක් ගත්තා... සුදු පාට දොර පහු කරනවත් එක්කම සුහස් දැක්කා.. ලා නිල් පාට තිරය පැත්තකට කරලා සුහස් එන පාරේ මැද්දේ එහෙ මෙහෙ යන පුංචි නිල් පාට ඇස් දෙකක් සුදුමැලි මුණක් මැද්දෙන් දිලිසෙනවා...වාරු නැති ඇගිලි මැද්දෙන් අත හරුණු තිර රෙද්ද ඒ ඇස් දෙක එක මොහොතකට වහලා දැම්මා... තව මොහොතකින් කැනියුලා එක දාපු අතින්ම මෙත්මි තිරය පැත්තකට ඇද්දා... අවසර ගන්න වගේ ජානකී මිසී දිහා බලන ගමන් සුහස් මෙත්මි ලගට ආවා....

මීට මාස දෙකකට වගේ කලින් සුහස් ඇස් දෙකේ කදුළු පුවරගෙන අත් දෙකත් එකතු කරන් තමන් ඉස්සරහ බැගෑපත් උන හැටි... හවස 6 පහු වෙනකොට වාට්ටුව ඇතුලේ ඔක්කොම එලියට දාන්න හදන වෙලාවක ඇවිල්ලා  මෙත්මිව බලන්න ඕන කියලා කියපු හැටි...වාට්ටුවේ දොර ලග ඉදන් තමන්ගේ උරහිසට උඩින් වාට්ටුවේ ලෙඩ්ඩු දිහා බල බල මෙත්මිව හොයපු හැටි... මෙත්මිව දැකපු ගමන් සුහස්ගේ ඇස් වාන් දාපු හැටි... ජානකී මිස්ට තාම මතකයි...”හැමදාම හවසට ඇවිල්ලා මෙත්මිට කවලා කොන්ඩේ ගොතලා යන මේ කොල්ලා ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා...” ජානකි මිස් හිස් කාමරේට මිමිණුවා....

මෙත්මිත් එක්ක ආපු ගියපු පාරවල් දිගේ යනකොට සුහස් පුළුවන් තරං හිත තද කරගත්තා...පොඩි උන් වගේ ඇගිලි පටලවන් සෙල්ලං කරපු තැන්...කාටත් හොරෙන් මෙත්මිගේ කොපුල සිපගත්තු තැන්.. නළල මිසක කොපුල සිඹින්න සුහස්ට දැන් උවමනාවක් තිබ්බේ නෑ.. සමහර වෙලාවට ජීවිතේ පටන් ගත්තු ගමන්ම අනිත්‍ය අවබෝධ වෙන එක මහ දුකක්... තව ටික කාලයක් බව දැනගෙනම මෙත්මිව ආදරෙන් බලාගන්න සුහස් තමන්ගේ හිතටම පොරොන්දුවක් දීලා තිබ්බා... හැමදාම පිළිකා රෝහලෙන් පිට වෙද්දී බෝධිය දිහා බලාගෙන සුහස් ප්‍රාර්ථනාවක් කරනවා.. හෙට එද්දිත් මෙත්මිව අවදියෙන් තියන්න කියලා... https://www.youtube.com/watch?v=oa4HY3-zW2E

කොච්චර සල්ලි තිබ්බත් මේ ලෙඩේට කාටත් මහරගමට එන්න වෙනවා..මෙත්මිලගේ රතු ප්‍රාඩෝ එක එළියට දානකන් ඉදලා සුහස් ඇතුලට ගියා... මාස දෙකක් තිස්සේ එන නිසා සුහස්ට අවසර ගන්න උවමනාවක් තිබ්බේ නෑ.. පුරුද්දට වගේ බැලුවත් ජානකී මිස් හිටියෙත් නෑ...මෙත්මිගේ ඇද වට කරලා තිරය ඇදලා තිබ්බා.. සුහස්ගේ කකුල් ගැහෙන්න ගත්තා....වෙව්ලන අතින් තිරය පැත්තකට කරපු සුහස්ට දකින්න ලැබුණේ හිස් ඇඳ....ඊයේ ඇදන් හිටපු නිල් මල් වැටුණු මෙත්මිගේ ගවුම ඇඳ විට්ටමේ තිබුණා... අවසරයක් නැතුවම ඇස් දෙක කඩා හැලෙද්දී සුහස් ගවුම පපුවට තුරුළු කරගත්තා... සීතල අතක් පිටට දැනුණා.. ආපස්සට හැරෙද්දී ඒ ඇස් වල කඳුළු ගලනවා මෙත්මි දැක්කා... “මේ ඇයි රත්තරනේ.. මිස් මාව හෝදන්න අරං ගියා....” පිටිපස්සේ හිටපු ජානකි මිස්ගේ හිනාව දැක්කම කදුළු අස්සෙන් සුහස් හිනා වුණා... “ආ... හිතුවද මගේ මහත්තයට නොකියම මම යන්න ගියා කිය...” වාක්‍යය ඉවර කරන්න කලින් සුහස් මෙත්මිගේ කට අතින් වැහුවා...  https://www.youtube.com/watch?v=zaHshfkuUpc

පුරුදු විදියටම කොන්ඩේ ගොතද්දී මෙත්මිගේ කොන්ඩෙන් ගැලවුණු කෙස් ටික මෙත්මිට නොපෙනෙන්න  උඩ සාක්කුවේ දාගෙන ආයෙත් සුහස් ඒ නළල උඩ හාදුව අලුත් කළා... අපි කවුරුත් මැරෙන මිනිස්සු.. පහලට බැහැල එන ගමන් සුහස් තමන්ගේ හිතත් එක්කම තර්ක කළා..වාද කළා..එත් මෙත්මි..ඒ කෙල්ල හුළගක් වගේ දැවටී දැවටී ඉදලා..එක පාරටම කොහොම මේ ලෝක ධර්මතාවෙට දන් දෙන්නද කියලා සුහස්ට හිතාගන්න බැරි උනා.. ඇත්ත ඒක  බව දැන දැනත් ඒ වචන ටිකවත් අහන්න තරම්වත් හයියක් තමන්ගේ හිතට නැති බව සුහස්ට අද තේරුණා...බෝධියත් වැඳලා බුදු පිළිමේ ළඟ නතර වෙලා සුහස් ප්‍රාර්ථනාවක් කළා... “මගේ මෙත්මිව මට සනීප කරලා දෙන්න..”

සුහස් පුරුදු විදියට ඊලග දවසෙත් ආවා... එන පාරේම ඈත ඉදන් ජානකි මිස් සුහස්ට අත වැනුවා...මෙත්මිට හොඳ වෙන්න කියලා මෙත්මිලගේ පවුලේ අය බෙල්ලන්විල පන්සලේ කරන්න ඉන්න අටවිසි බුද්ධ පුජාවට යන්න ක්‍රමයක් සුහස් හොයා හොයා හිටියා..සුහස් උදව් ඉල්ලුවේ ජානකී මිස්ගෙන්...මිස් අනිවාර්යෙන්ම ක්‍රමයක් හොයාගෙන ඇති.. මුණ මැදට ලොකු හිනාවක් අරගෙන ජානකි මිස් ඉන්න පැත්තට දුවන ගමන් සුහස් බෝධිය දිහත් බැලුවා... එත් සුහස්  දැනන් හිටියේ නෑ සුහස් දුවගෙන යන්නේ මෝචරියට කියල....... පුරුදු ප්‍රාර්ථනාව වෙනස් කරපු නිසා හරි සුහස් වගේම තවත් ප්‍රේමවන්තයෙකුට අවස්ථාව දෙන්න ඕන නිසා හරි බෝධිය ඊයේ සුහස් දිහා බලලා තිබ්බේ නෑ ...    https://www.youtube.com/watch?v=qTjdho-UJg4

ගැහෙන හදවතක් අකුරු කළේ අපුර්ව 


Posted Time: 18/07/15 07:27:33 PM
News Views:4440