ගැහෙන හදවත 5 - දෛවෝපගත හමුවීම!
Sangeethaya.lk
ගැහෙන හදවත 5 - දෛවෝපගත හමුවීම!


අළුත් ගෙදර වත්තෙ ගස් කපලා සුද්ධ කරන්න එන්න කියපු නිසා මම සෙනසුරාදා උදෙන්ම නැගිටලා බිරිඳ සඳා හදලා දුන්න රොටියත් කාලා, චූටි පුතාගෙ නළල ඉඹලා.. ගස් නගින වලල්ලත් කරේ එල්ලගන පාරට යන්න බයිසිකලේ නැග්ගා. හොඳ ගානක් ලැබෙයි.. ලොකු රස්සාවක් කරන මහත්තයෙක්ලු ඇවිල්ලා තියෙන්නෙ ගෙදරට. අද නම් පොඩි එකාට සෙල්ලම් බඩුවකුත් ගන්න පුලුවන්... ඉස්කෝලෙට ඕනෙ පොත් ගන්නත් බැරි උනා.. ඒකත් අරගන්න පුලුවන්... මගෙ හිතට සැහල්ලුවක් දැනුනා...... https://www.youtube.com/watch?v=wSJ4gkYZLLM
ගේට්ටුව ලඟට ගිහින් බෙල් එක ගැහුව ගමන්... වැඩකාර කොලුවෙක් දුවගන ආවා... "ඇයි?" උගේ රැස් මහත්තයාටත් වඩා... මට හිතුනා.. වත්ත සුද්ධ කරන්න කිවුවාම ගේට්ටුව ඇරලා ගත්තා.. මාව ඇතුලට...මහත්තයාගේ දිලිසෙන අලුත්ම කාර් එකේ ලස්සන.... මගේ පුතාගෙ වයසෙ විතර බේබි කෙනෙක් වත්තෙ සෙල්ලං කාර් එකක් පදිනවා.. තව චූටි බේබි කෙනෙක් ලස්සන බෝනික්කො 3 දෙනෙක් එක්ක සෙල්ලං කරනවා කරත්තෙක තියලා තල්ලු කර කර. පෙරේරා මහත්තයා එළියට ඇවිල්ලා මට වත්තේ කපන්න ඔනේ ගස් ටික පෙන්නලා දුන්නා. මහතට හිටියට මහත්තයට කරුණාවන්ත ඇස් දෙකක් තියෙනවා කියලා මට හිතුනා.
දවල් වෙනකල්ම ගස් උඩට බඩගාලා අතු කපලා.. වත්තෙ කුණු ඔක්කොම අස් කරලා දානකොට .. ගෙදර වැඩකරන කරුණාවති මට දවල්ට කන්න කතා කලා. කුස්සියෙ බංකුවෙ ඉඳ ගත්තම බෙදපු බත් එක අතටම දුන්නා.. මට ඒක දැක්ක ගමන් මගෙ දරුවො දෙන්නයි සඳායි මතක් වෙලා ඇස් දෙකට කඳුලු ආවා.. කහ බත්, කුකුල් මස්, බිත්තර, අල සමඟ තව එළවළු 3ක් ... පිඟානත් මදි බත් එකට... බෙලෙක් පිඟන් දෙක අරගෙන දොර ලඟට වෙලා අම්මා හොද්දක් හදලා ඉවර වෙනකල් බලා ඉන්න පොඩි උන් දෙන්නා මගෙ කඳුලු පිරුනු ඇස් දෙක අස්සෙන් මට පෙනෙනවා වගේ..... https://www.youtube.com/watch?v=ydWiY3qt6EA රජ මැදුරක ඉපදී සිටියානම්.... නුඹත් රජෙකි පුතුනේ.... ඉඳහිට මොලවන ලිපත් දනී පුත... කැඳ රස සුනු සහලේ.... ඇඳලා කල් ගිය රෙදි වැරළී.. නෑ මට වාවන්නේ.....
බත් එක අරගෙන දුවලා ගෙදර ගිහින් පොඩි උන් දෙන්නට බඩ පිරෙනකල්ම කවන්න තියෙනවානම් කොච්චර හොඳද? උන් දෙන්නායි සඳායි බඩගින්නෙ ඉන්නකොට මම කන්නෙ කොහොමද? අමාරුවෙන් හිත හදාගෙන අනපු බත් කට උගුරෙන් පහලට යන්නෙ නෑ.. හිර උනා.. කරුණාවතීගෙන් මම ඇහුවා... මට මේ බත් එක ඔතලා දෙනවද ගෙනියන්න කියලා... අහිංසක හිනාවකින් මගෙ දිහා බලලා.. පිඟාන මගෙන් අරගත්තා. ගේ ඇතුලෙන් පොඩි දෙන්නාට කවන්න නෝනා ගන්න මහන්සිය මට ඇහෙනවා කන්නලවු කර කර... මට පුදුම හිතුනා.. එකම සමාජයක එක වයසෙ ඉන්න ළමයින් අතර වෙනස.....
වතුර වීදුරුවක් බීලා බඩගින්නෙම ගිහින් ඉතුරු වැඩ ටික කලා.. ඉක්මනට ගෙදර යන්න හිතලා..හොඳට කාලා බීලා නිදාගන හිටපු මහත්තයා හවස කොට කලිසමක් ඇඳලා දුවන්න යනවා.. ඇඟේ මහත අඩු කරගන්න... පුදුම ලෝකයක් මේක නම්... මාත් එක්ක මේ වත්ත සුද්ධ කලා නම් මහත්තයාට කෙට්ටු වෙන තිබ්බා ඉබේම..
පැයක් දුවලා දුවලා හති දාගෙන එන මහත්තයාව දැකලා මට හිනා.. එනකොටම ලොකූ වීදුරුවක බීම එකක් ගෙනල්ල දුන්නා අර කොලුවා.. හී.. හී... දැන් ආයෙත් මහත් වෙනවානෙ.. මට තනියම හිනා මේ විකාර දැකලා..
සල්ලි දෙන්න ගියාම මහත්තයා වැඩ හොඳ හින්දා හැම මාසෙම එන්න කිවුවා.. ඒ වෙලාවෙ මගෙ දිහා හොඳට බලපු මහත්තයා මගෙ ඇහිබැමේ තිබ්බ කැපුම් පාර දැකලා.. තුෂිම්භූත වෙලා වගේ බලා හිටියා.. මොකද්ද උඹ්... නම? උඹ නොකියා මහත්තයා ඇහුවා.. 'මම කමල්' කිවුවා විතරයි.. මහත්තයා ඔලුවෙ අත ගසා ගත්තා.. 'මම රොහාන්'.. මහත්තයා හෙමින් කිවුවා මගෙ ඇස් දෙක දිහා බලලා.. ඒ ඇස් දෙකේ ඒ වෙලාවෙ තිබුණ බැල්ම... විස්තර කරන්න බැරි තරම් දුක්බරයි.
රොහාන්... මගෙ හොඳම යාලුවා ගමේ ඉස්කෝලෙදි. එකට සෙල්ලම් කරපු, එකට වෙරලු ඇහිඳපු, ඇලේ දොළේ පැනලා නාපු, එකට පේර හොරකන් කරන්න ගස් නැගපු අපි දෙන්නා... https://www.youtube.com/watch?v=WWgR2CH9Fq0 අපට සැදුනු අපේ ලෝකයේ... සතුටු සදා රකිමු යාලුවේ....
මගෙ ඇහි බැම තුවාල වුනෙත් රණ්ඩුවක් බේරන්න ගිහින්... රොහාන්ට ගහපු ලොකු කොල්ලෙක්ට මම ගහලා..ගුටි කාලා.. අන්තිම වරට අපි දෙන්නා හමු උනේ .... ගම්මුලාදෑනියගෙ ගෙදර ගැට ගහලා තිබ්බ හරක් ලිහලා සියාතු මාමගෙ කුඹුරට දැක්කුවා කියලා අහු උන දවසෙ. රොහාන් ගෙ තාත්තා පාසලේ ලොකු සර් හින්දා තාත්තා ගහයි කියලා මට වැරැද්ද පිලිගන්න කියලා රොහාන් බැගැපත් උනා. යාලුවා වෙනුවෙන් පණ උනත් දෙන මම, එකට ඉදිරිපත් උනා රොහාන් ගෙ ඇස් දෙකේ තිබුන බය දැකලා...
එදා පාසලෙන් මාව අස් කලා...  ගෙදරින් තාත්තා ගහපු වේවැල් පාරවල් වල වේදනාව තාමත් මට දැනෙනවා වගේ... පන්තියේ පළවෙනි තුන් දෙනා අතර හැමදාම හිටපු මම පාසැලෙන් එළියට දාපු වෙලාවෙ ඇති උන දුක තාම අඩු වෙලා නෑ. තාත්තා ඒ වුන ලැජ්ජාව නිසා ආයෙ කවදාවත් මාව පාසල් යැවුවේ නෑ... ඒ දුක ලැජ්ජාව නිසාම තාත්තා ඉක්මනට එළොව ගියෙ කියලා අම්මා කිය කියා අඬනවා දැක්කාම මල්ලිලා දෙන්නා පාසල් යවන්න මම මේ රස්සාව පටන් ගත්තා.. මල්ලිලා රස්සාවට ගිහින් බැඳලා ගියා ගියාමයි නගරෙට... ආයෙ කවදාවත් ආවෙ නෑ.... https://www.youtube.com/watch?v=exSao2Y6ERU
මගෙ හිත තුල මැවුන සිතුවම් අතර .. රොහාන් නොදන්නා විස්තර මම රොහාන්ට කියනවාද නැද්ද? .. රොහාන් මහත්තයාගෙ ගෙදරින් දුන්න බත් පාර්සලෙත් අරන් මම... ඒ ගෙදරින් පිටත් උනා.. රොහාන්.... තාමත් පුටුවෙ ඉඳගෙනම... මගේ දිහා කඳුලු පිරි දෙනෙතින් බලා ඉන්නවා මට... තාමත් මතකයි.... https://www.youtube.com/watch?v=bXbVbPC16-0
සඳකිඳුරන්  ඇත සඳලුතලාවේ..... රස මසවුලු වල සුවඳ පිරී... ඒ රස සුවඳට දෑස අයාගන බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ....
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි.. පායුග නැති ඔබ දකින තුරා.... කුන්කුම අන්ජන ඉල්ලා හැඬුවෙමි... නෙත් යුග නැති ඔබ දකින තුරා...
                                                                                                                                                               ගැහෙන හදවතට කතාව ලිව්වේ අහිංසා!!


Posted Time: 16/07/15 12:55:13 AM
News Views:5725