ගැහෙන හදවත 3 - මැයි දිනය සහ කම්කරුවා
Sangeethaya.lk
ගැහෙන හදවත 3 - මැයි දිනය සහ කම්කරුවා


තාත්තගේ දෑත් දියවෙලා ගිහිල්ලා තියෙන්නේ පාරෙ තාර දමන්න අවුරුදු ගාණක් වුන මහංසිය හින්දා. ඒ දෑස්වල තියෙන දුක්බර නිර්ව්‍යාජ හිනාව දැක්කාම පපුව හෝස් ගාලා පත්තුවෙනවා තාර රත්කරපු පෝරණුව වගේ. ගෙදරට ආවට පස්සෙ ඇඟ සෝදා ගත් පසු තාත්තගේ රිදෙන කකුල් දෙකේ තෙල් ගාවගන්නවා මල්ලිට කියලා. අම්මා උණු උණුවේ බත් එකක් උයලා කොස් මැල්ලුං සහ කරවල හොදි එක්ක දෑතින්ම තාත්තට දෙන්නේ.... තාත්තා අපේ පවුලම රකින්න වෙන මහංසිය නිසා බව මට හිතෙනවා. තාත්තගේ වැඩපලට ගිය වෙලාවක මට මතක් වුනා මේ සිංදුව. 

https://www.youtube.com/watch?v=0neoYmxw9eI  පොළොව කොටන තැන... පාර තනන තැන..ගිණියම් අවුවේ.. මහ වරුසාවේ.. දෙවියන් වැඩ ඉන්නේ...

ඇත්තටම දෙවියන් වැඩ සිටිනවා නම් ඇයි තාත්තා වගේ දහදිය හෙළන මිනිසුන් දිහා බලලා උදව්වක් නොකරන්නේ කියලා හිතෙනකොට ඇස් වල කඳුලු නවත්තගන්න බෑ. හැමදාම උදේට අල්ලපු ගෙදර මහත්තයාගේ ප්‍රාඩෝ එකක් නැගලා යන රෙහාන් බබයි ශිෂ්‍යත්වේ පාස් වෙලා ඒ පාසලටම යන අපේ මල්ලියි කොච්චර වෙනස්ද? අපේ මල්ලි උදේම නැගිටලා වත්තේ අම්මා වවලා තියෙන එළවලු පාත්ති වලට වතුර දාලා.... අම්මාට ඉඳි ආප්ප තම්බන්නත් උදව් කරලා, සපත්තු වල මඩ පිහදාගෙන හිල් වුන තැන් වහගෙන, කහ පාට වේගෙන එන කමිසයයි නිල් කලිසමයි ඇඳලා බුදුන් වැඳලා, දෙමව්පියන් වැඳලා හැතැම්මක් විතර ඇවිදලා බස් එකේ පැයක් එල්ලිලා ගිහිල්ලා පාසැලට යනවා.  එහෙම ගිහිල්ලා එකම පංතියේ මල්ලි පළවෙනියයි. රෙහාන් බබා 40 වෙනියා වුන දවසේ මහත්තයා බබාට බණින සද්දෙ මගේ හිතේ තාමත් දෝංකාර දෙනවා. "අර ආතක් පාතක් නැති එකා පළවෙනියා වෙලා! මොකක් හරි වැරැද්දක් තියෙනවා මේ ඉස්කෝලේ!" මටත් හිතුනා මොකක් හරි වැරැද්දක් තියෙනවා මේ සමාජ ක්‍රමයේ කියලා, මහත්තයාගෙ කෑගැහිල්ලට.

අද තාත්තලාගේ දිනය කියලා අම්මා කම්කරු දිනය දවසේ කිරිබත් හදලා, තාත්තාව වීරයෙක් වගේ යැවුවේ මැයි පළවෙනිදා පෙළපාලියට. තාත්තත් ගියා රටක් රාජ්ජ්යයක් අල්ලන්න යනවා වගේ උද්යෝගයෙන්. ඒත් මට මතක් වෙන්නෙම කම්කරු දිනය උනාට අමුතුම සින්දුවක්. https://www.youtube.com/watch?v=6CGJggppqcw

මාස්ටර් සර් මට හිමිතැන මට දෙන්න ... අනේ සර් කරුණාවෙන් සලකන්න... තාමත් කම්කරුවො... අත් දෙක උඩට උස්සලා.. ඒ වගේ යදිනවා මතක් වෙන එක නවත්තන්න මා මහන්සි ගත්තා.. ඒත්.. අල්ලපු ගෙදර නැන්දා හැමදාම සුදු පිච්ච මල් ටිකක් කඩලා විශ්ව විද්යාලෙ පෙළපාලියට ගිහින් තමන්ට නැති උන පුතාගේ පින්තූරෙ ලඟ තියලා වඳිනවා දැක්කාම.. ආයෙත් හිතට දැනෙන දුක වාවා ගන්න අමාරු උනා. වෙනදා නම් පුතාත් සහභාගී වෙනවා කියලා කඳුලක් පිහින ගමන් ඈ අහෙන්න නෑහෙන්න වගෙ කියනවා මට ඇහුනා.. ඔවුන් ජීවිතය දන් දුන්නේ මේ සමාජ ක්‍රමය වෙනස් කරලා අපිව ජීවත් කරවන්න නේද? ඔවුන් වෙනුවෙන් ස්මාරකයක්.. පිළිමයක්.. කෝ? https://www.youtube.com/watch?v=Hm_qsO1f3LU

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.. සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ.. මිහිකත කම්පා වී.. ගුගුරා දෙස් දේවී..

තාත්තලාගේ කට්ටිය දැන් රජ වෙලා වගේ ඇති... දහවල් ඉඳලාම අම්මා ලැහැස්ති වෙනවා..හවසට එන තාත්තාව පිළිගන්න.. අද මහන්සි වෙලා එන හින්දා හොඳට මොනවා හරි හදන්න ඔනේ කියලා කඩෙන් මුදලාලිගෙන් බැනුන් අහගෙන ණයට පොල් ගෙඩියක්.. පරිප්පු ගෙනත්.. අම්මා පොල් සම්බෝලයකුයි, මිරිසට පරිප්පු හොද්දකුයි පොළොස්  ඇඹුලකුයි හදනවා
. අම්මාගෙ මූණේ හීන් හිනාවක සෙය්යාවක් මට පෙනෙනවා.

රෑ වෙනකල්ම තාත්තා එනකල් දොර ලඟට වෙලා බලා ඉන්න අම්මා... තාත්තාගෙන් කොළඹ මැයි පෙළපාලියේ විස්තර අහගන්න බලා ඉන්න මල්ලි... රෑ වෙනකල්ම නොකා නොබී ඉන්න අපට එහා ගෙදර ලොකු වාහන ගොඩාක් අස්සේ බයිලා සද්දයක් ඇහෙනවා..හැම අවුරුද්දෙම වගේ මැයි දිනයට එකතු වුන දේශපාලඥයෝ මහන්සිය යන්නත් එක්ක තියෙන උත්සවය.

ඒ අතරතුර තාත්තා එක්ක වැඩ කරන සිමියොන් මාමා ගෙනාපු ආරන්චිය! පෙළපාලියෙදි ඇති වුන කලබලයකදි... අපේ තාත්තා... අපේ රත්තරන් තාත්තා .... තමන් හද හද හිටපු පාරකදීම පොලු පහරක් වැදිලා.. ඉස්පිරිතාලෙදි...ආයෙ නො එන්නම අවසන් ගමන ගිහින්..... https://www.youtube.com/watch?v=itExNxeWs0E

අවුවට වැස්සට හුරු මිනිසුන්නේ... දැතේ විරියෙන් රටවල් නැගුනේ.. ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්.. මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ..


                                                                                                                                                  ගැහෙන හදවතට කතාව ලිව්වේ අහිංසා!!


Posted Time: 02/05/15 01:18:24 AM
News Views:1797