සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 8 - රම්බරී !!
Sangeethaya.lk
සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 8 - රම්බරී !!


අප්පේ වැඩ ඇරිලා ගෙදරට ළං වෙනකොටම හොරණෑව පිඹිනවා වගේ ඇහෙන්නේ නැතැයි අපේ ගෑනිගෙ සද්දේ! මොකද දන්නේ නෑ අද කලින්ම!! අද නං විසුමක් වෙන්නේ නෑ පොඩි එකාටයි මටයි. ඒ සද්දෙ අඩුකරන්න වත් හිතලා ගේ ලඟ ලෑලි කඩෙන් ලෑතර 5ක් ගත්තා අතේ  තිබ්බ රුපියල් 10 යෙන්.

මොකද හාමිනේ කියලා අහන්නවත් ඉඩ නොතියා ලෑතරේ දික්කොරපු ගමන් ම සද්දේ වැඩි වුනා! පිරිමි ඔක්කොම එක වගේ තමයි! තියාගන්නවා තමුන්ගේ ලෑතරේ! ලෑතරේට වැඩි කොරපු කාලේ ගියා කියපි! හත් ඉලව්වේ මං මොනවා කොරාටද?? ලෑතර දුන්නත් එකයි නොදුන්නත් එකයි . මේ ගෑනිට නං! පස්සේ තමයි දැනගත්තේ වෙලා තියෙන දේ! හෙහ් හෙහ් හෙහ්... වැඩ ඉවර වෙලා හාමිනේ බස් එකේ එනකොට කොල්ලෙක්ගෙ කකුලක් පෑගිලා ඌ කියලා "රම්බරි කියපන් නුඹෙ නොම්බරේ" කියලා. අපේ ගෑනි නොම්මරේ කියන්න ලෑස්ති වෙනකොටම අර කොල්ලා කිව්වලු "සොරි ඇන්ටි" කියලා! ඒකට පිරිමි සංහතියටම බැනුං! රම්බරි කියලා ඒ මෝඩයා නතර වුනානං අද පෙම්බරී! අහුවෙත්දෙංකෝ ඔය කොල්ලා මට! දානව ගෙම්බරේ රම්බරි කියපං නුඹෙ නොම්බරේ... පොඩි එකා ආසම සිංදුව මං ඌත් එක්ක බලන්න පටං ගත්තා ... ගායකයාගේ කටහඬ නම් මාරයි... දෙයි හාමුදුරුවනේ!! මේ ගායකයා සිංදු කියන්නේ බෝම්බයක් ලඟ. නොවැ! මේ යුද්ධ කාලේ කොරපු විෂුවල් වෙන්න ඇති. වාකරේ ගැනත් කියන්නේ ඒකයි.

ජම්බෝලේ වගේ කියලා නං පෙනෙන්නේ කැහැටුම කැහැටු කෙල්ලෙක්! යුද්ධ කාලේ සමහර පලාත් වල කන්ට වත් නෑ නොවැ. ඒක වෙන්ටැති !!බීට්  එක නං මරු! මට නිකම්ම නැටවෙනවා! සිංදුව අහපු ගමන් ඔක්කොමලා දිව්‍ය ලෝකෙ යනවා වගේ උඩට යනවා! දිව්‍ය ලෝකෙට යන්ට කෙටි පාරක් වත් හොයාගෙනද මන්දා මේ කට්ටිය? Video එකෙ නම් ගායකයා හිටගෙනද ඉඳගෙනද කියලා කියන්ට බෑ නොවැ. ඔලුව ඇද කොරකොර බලන්ට ගිහින් මගෙ කොන්දෙ අමාරුව ආයෙත් වැඩී උනා. අපොයි !! මගෙ කොඳු නාරටිය!!

දිවිය ලෝකෙට ගිය උන් නම් නටනවා කැරකි කැරකි හති දම දමා... බයිසිකල්කාරයො මෙච්චර කොහෙන්ද මන්දා දිවිය ලෝකෙ!! එහෙ ඉන්න කෙල්ලො නම් ලස්සනේ බෑ. මාත්... සරම වීසි වෙලා ගියත් කමක් නෑ කියලා අර කොල්ලො වගේ බිම පෙරලි පෙරලි නටංට පටං ගත්තා ඉක්මනින්ම දිවිය ලෝකෙ යන්ට හිතාගෙන. අප්පොච්චියේ... අර ඇතුලේ ඉඳං ආපු ලොකු සිරාත් ගියා නොවැ සුරුස් ගාලා දිවිය ලෝකෙ. ඇයි ඉතිං ඌ අපායෙ ටර්ම් එක ගෙවලා ඉවර කෙරුවා නොවැ මේ ලෝකෙ.

අනේ ඔක්කොම සිංදුව අහලා චුත උනාට... සිංදුව කියපු ගායකයට යන්ට බැරි වෙලා නොවැ දිවිය ලෝකෙට! බඩ ගාගෙන යන්නේ කොහොම හරි අපායෙ නොගිහින් දිවිය ලෝකෙ යන්ට නෙ බොලල්ලා!! අනේ ගායකයාට තියෙන කෑදරකම දිවිය ලෝකෙට යන්ට... දැන් බෝම්බෙ උඩ ඉඳං සිංදුවෙ ඉතිරි ටික කියන්නේ. මං පොඩි එකාගෙ ඇස් දෙක වැහුවා! ඕක පිපිරුනොත් හත් දෙයියනේ!! මගෙ පපුව ගැහෙනවා රපට ඩපට රපට ඩපට කියලා දැං!! අනේ කොලුවෝ! උඹ දක්ෂ විදිහට සිංදු කියනවානෙ.. ඔය බෝම්බෙ ලඟින් අයින් වෙයං ඕක පුපුරවාගන්නෙ නැතුව!

මේ සිංදුව මෙච්චර ජනප්‍රිය උනේ, ඒක අහගෙන ඉන්නකොට දිවිය ලෝකෙ යනවා වගේ නොවැ දැනෙන්නේ! මට ගුත්තිල කාව්‍යයේ කවියක් මතක් උනා..

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා

රන් රැසේ එක් කල ලෙසේ වෙණ නාදනූ පා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා

මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොබා

එදා වීනා නාදයට අනුකූලව පා තබමින් අනංගයා දෙන ඊතල පහරවල් වගේ ඇස් කොනින් සභාව දිහා බල බලා ඔවුන් එදා ඒ දුන්න රැඟුම මම කෙසේ කියන්නද කියලා නොවැ ඒ කවියෙන් කියවෙන්නෙ. මටත් නිකම්ම කවි කියවෙනවා දැන් නං!! සරිග මාස්ටර් කියන්නෙ නිකංයැ!!

රම්බරී මගෙ සුන්දරී, මට නොම්මරේ දෙනවද පබා

පෙම්බරී කමු තන්දුරී, මට පාං නම් තිත්තයි බබා

තන්දුරී කමු ගින්දරී, මගෙ චිකන් හොද්දේ ඔබ ඔබා

කොලවරී නැති රම්බරී, මගෙ හෙමින් එයි පා තබ තබා

අර කොලවරි සිංදුව ලෝක පරසිද්ධ උනාට කවුරුවත් ඒක අහලා අතුරුදහන් වෙලා දිවිය ලෝකෙට ගිය කතාවක් අපි අහලා නෑ නොවැ. ඒ කියන්නෙ රම්බරී තරම් දියුණු නෑ නොවැ කොලවරී!! අපෙ ලංකාවෙ උන් දක්ෂයි මොනවා උනත්. මං දැං මෙලෝ සිහියක් නැතුව නටනවා. ඒ බීට් එක නම් මරු! මං සින්දුව තවත් වැදි කෙරුවා සද්දේ. මුලු ගමටම ඇහෙන්ට!! බුදු සන්තෝ!! එහා ගෙදර විලියොං සීයත් පාරට ඇවිල්ලා ඔය හැරමිටියත් වන වනා නටන්නේ.... විමලා නැන්දත් මැල්ලුං කප කපා ඉඳලා පිහියත් එක්කම නැටවි නැටවී වැට ලඟ. ගුණපාලයා වැඩ ඇරිලා ගෙදර යන ගමන්. ඌ නම් නිකම්ම නැටවෙනවා..  ඌ අද වැඩිපුර නටංට ගිහිල්ලා අර ගායකයා වගේම ඔලුව පාරේ.. කකුල් දෙක තාප්පෙ දිගේ ඇද වැටිලා....

මට කැරකිල්ල වගේ උඩ යට මාරු වෙලා දැං නං!! අපේ නෝනා පාං බාගෙකුයි ප්ලේන්ටියකුයි අරං එනකොට.. මම නැටපු නැටිල්ලටයි බය වෙච්ච බයවිල්ලටයි රපට ඩපට රපට ඩපට ගාලා පපුව ගැහෙනවා! සෙටිය යටට වීසි වෙලා තිබ්ච්ච සරම  හොයලා දුන්න නෝනා අමුතු හිනාවක් දැම්මා... මේ ගායකයා එක්ක නම් කාටවත් හැරෙන්නවත් බෑ නොවැ!! දිවිය ලෝකෙටම යාවි අපෙ මායියාගෙ හිත හදාපු පිං බලෙන්ම!! ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා.. සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා...  කියන ගමං මං නෝනාවත් ඇදගෙන කුස්සිය පැත්තට ගියා..... 




Posted Time: 13/03/15 08:05:13 AM
News Views:1596