සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 3 - දෑස තෙමිලා......
Sangeethaya.lk
සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 3 - දෑස තෙමිලා......


උදේ පාන්දරින්ම නැගිටලා හාමිනේ ගෙ මැසිවිලි, දුක් අඳෝනා, බඩු ලිස්ට් අතරින් ගෙදරින් පනගත්තේ හරිම අමාරුවෙන්. වැඩට යන්න බස් හෝල්ට් එකට ආවම හිතට තියෙන සැනසිල්ල! ජැන්ඩි පහට ඇඳගත්ත ඇන්ටිලාට, අක්කලාට, නංගිලාට මැදිවෙලා පෝලිමේ හිරවෙලා බස් එකට නැග්ගහම හරියට දිව්යලෝකෙ ගියා වගේ. යංතං සීට් කොනක ඉඳගන ඇන්ටි කෙනෙක්ට හේත්තු වෙලා නින්දට වැටුනා.
දෑස තෙමිලා.... හීන පෙනුනා... ඔබට තිබු ආදරේ හින්දා.....ඒ සින්දුව මතක් වෙනවා අද උදේ් ඉඳලාම. ඇස් ගෙඩි දෙකේ කඳුලු පුරව ගත්ත අහින්සක කෙල්ලෙක් ආදරෙන් ඇවිත් ඇඟට තුරුල් වෙනවා වෙන්න ඇති විෂුවල් එකේ තියෙන්නේ. ඔෆිස් එකට ගිය ගමන්ම කැන්ටිමට ගිහිල්ලා තේ බොනගමන් ටීවී එක දැම්මා. මගේ වාසනාව! හිතේ හිර වෙලා තිබ්බ සින්දුව යනවා දැන්.....
දෙවියනේ, අර කොලඹ හතේ කෙල්ලෙක් ඇවිදින් ආදරේ හින්දාද කොහෙද අර අන්ධ මිනිහෙක්ට පලු යන්න සාප කර කර බනිනවා! රේඩියෝ එකෙ යන සින්දුවකට ටීවී එකේ වැරදි විෂුවල් එකක් යනවා වගේ. මාව අංදුං කුංදුං උනා. ආදරේ හින්දා නම්, ඔහොම බනීද කටු අත්තක් වගේ එල්ලී එල්ලී. අපේ ගෑනිත් ගෙදර ගිය වෙලේ ඉඳං මට බනින්නේ ආදරේ දෝරෙ ගලන හින්දා වෙන්න ඇති දෙයියනේ. අර කෙල්ල අන්ධ ගායකයාව තල්ලු කරලා ගෙදරින් ගියා. මේ ගායකයා අන්ධ හින්දා තමයි කලු කන්නාඩි දාගෙන ඉන්නේ. නැත්තං මො ගේ ඇතුලේ කලු කන්නාඩි දාන්නේ.
දෙයි හාමුදුරුවනේ, ඉස්සරහා බලාගන වාහන එලවන අර කොලුවා කොහොමද ගිණිකොන පත්තෙන් යන අර කෙල්ලගෙ යතුර වැටෙනවා දැක්කේ? ෂුවර් එකට දිවැස් ඇති ඒ කොල්ලට නම්. කෙල්ලට කොච්චර වහ වැටිලාද කියනවා නම් පර්ස් එකත් වට්ට ගත්තා.
අන්ධයා තනිවෙලා හින්දා දුකෙන් වගේ කෝපි බොනවා. අපේ සිරිපාල මලයගෙ ගෑණි දාලා ගිය දවසේ  ඌ නං වහ බිවුවා. ගුණපාලයා නම් කසිප්පු බිවුවා නැතිවෙන්නම. මතට තිත හින්දා වෙන්න ඇති අන්ධයා කෝපි බොන්නේ. කෙල්ල අර පොඩි කොල්ලත් එක්ක කොම්පුටරෙන් කතාවයි හිනාවයි! ඌ රෝබෝ කෙනෙක් වෙන්න ඇති - කට හඬ ඒ වගේමයි. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වායනවා වගේ තමයි. කෙල්ලයි කොල්ලයි නටනවා, හිනාවෙනවා. මේ කෙල්ල නම් හරීම ලෝබයි කියලා මට හිතෙනවා. අර මහරගම පැත්තෙ ගියා නම් හොඳට ලාබෙට ගන්න තිබ්බා පමුණුවෙන් ඇඟ වැහෙන්න ඇඳුං.
දැන් තමයි අන්ධ ගායකයාගෙ ඇස් ඇරිලා තියෙන්නේ.  බැරි උනාට සෑහෙන්න වියදං කරනවා ඒකා නං, අපරාදේ කියන්න බැහැ, තමාට ඔනේ වැඩේ කරගන්න. අර කෙල්ලගෙ හිත දිනාගන්න රෝස මල් කොච්චරක් කඩලා බිම දාලාද? අපරාදේ! මොනවා කරන්නද ඉතින් කියාගන්න බැරි වෙලා ඉපදුනාම. දෙවියෝ උනත් හොඳට හොයලා බලලා නේ දේවල් දෙන්නේ. ඌට සල්ලිත් නැති උනා නම් ඌ නිකංම නිකමෙක්නේ! වහ බොන්න තමයි වෙන්නේ!
ගෑනුන්ගෙ මොළේ හැඳි මිටේ දිග කියන්නේ කට කහනවට නෙවෙයි! ඒ කෙල්ල රැවටුනා ආයෙත් අර හාදයට. අර ගායකයා එක රෝස මලක් අරං එනකොට කෙල්ල රෝසමල් ගානක් තලා දාපු එකාත් එක්ක යාලු වෙලා ආයෙත්. අනේ සං්සාරෙ හැටි! විෂුවල් එක නං ධර්මයට අනුව හදලා තියෙන්නේ. අන්තිමට කෙල්ලට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ!! මේ කථා වස්තුව නම් එන සරේ වෙසක් තොරණට හොඳයි කියලා මට හිතුනා. කී දෙනෙක් රහත් වෙයිද දෙයියනේ ඒක බලලා..... ඒ පින් බලෙන් මාත් මේ ආත්මෙන් ගොඩ......ඒ සිතිවිල්ලට මගේ දෑසත් තෙමිලා........


Posted Time: 17/02/15 04:55:47 PM
News Views:2055