සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 2 - දිගු දෑස දුටුවාම !!
Sangeethaya.lk
සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 2 - දිගු දෑස දුටුවාම !!


සෙනසුරාදා උදේ නැගිටපුු වෙලාවෙ ඉඳලා හාමිනෙගේ කෑගැහිල්ල හංදියේ කඩෙන් පාං ගෙඩියක් ගේන්න කියලා. කොලේක ඔතන්නෙ නැතිව සිලි බෑග් එකක දාගෙන ආඩම්බරෙන් පාං ගෙඩිය ගේන්න කිවුවෙ දැන් රත්තරන් වලට වඩා පාං ගණන් ගිහින් හින්දා. අනේ අනිච්චං පාං ගෙඩියේ, උඹටත් ගිය කලක්! කබ පිහිද පිහිදා ඔතෑනි කමින් කඩේ පැත්තට යනකොට දැක්ක දර්සනේට ඇඟ කිලිපොලා ගියා. මං ඉස්සර යාලු වෙලා හිටිය දම්මිකා කඩේ ලඟ! ඒකිගෙ විසේ තාම අඩු වෙලා නැහැ.. අපේ නෝනාගෙ කකුල් අල්ලලා වඳින්න ඔනේ මාව කඩේ යවනවට මේ වගේ. දම්මිකාගෙ දිගු දෑස දුටුවාම.... හැඟෙනවා පෙරසේම.....!! මගෙ කකුල් දෙකත් පැටලෙනවා..! ඒ සින්දුව මුමුන මුමුනා දම්මිකාගේ ඇඟේ ගෑවීගෙන වගේ මං කඩේට රිංගුවා.
සරිග මාස්ටර් කියන්නේ මට කට කහනවට නෙවේ නෙ! ඒ සින්දුව දැන් මගේ කන් වල හිර වෙලා වගේ.. ගෙදර ගිහින් ටීවී එක දැම්මා කන ගමන් ටීවී බලන්න. පාං කෑල්ල හොදි එකේ එබුවා විතරයි 'දිගු දෑස' යනවා කියලා පොඩි එකා කෑ ගහපු හින්දා දුවගන ගියා ටීවී එක ලඟට. ලස්සන කෙල්ලෙක් අඳෝනා නගනවා සින්දුවට ඉස්සෙල්ලා. කොල්ලා බලාගෙන ඉන්නවා "කතාව දැන්වත් නවත්තලා යන්න - මීටර් ටැක්සියක් වත් නවත්තලා දෙන්නද" අහන්න වගේ! අර ගායකයා ලස්සනට සින්දුව කියන්න හදනවා. මේ කෙල්ල සින්දුව කියන්න දෙන්නෙම නෑනේ! සින්දුව මැදින් කථා කරනවා, හිනා වෙනවා, අඬා වැටෙනවා! මොන හත් ඉලවුවක්ද! කනට ගහන්න හිතෙනවා! ආහ්! අර ගැහුවෙ කනට එකක් නම්! කියවන එකේ සීමාවක් නැහැ! අපෙ ගෑනි වගේමයි! අර කොල්ලා අඬ අඬා කියන්නේ "මට දෙන්න මගෙ සිහිනේ" කියලා හීන නිහඬයිනේ! ඒක හින්දා වෙන්න ඇති! එක කෙල්ලෙක් මදිවට තව කෙල්ලෙක් ඇවිත් කථා කරනවා නොකඩවා! අනේ අහිංසක ගායකයා. දිගු දෑස කිවුවාට, මේ සින්දුවේ ඉන්න දම්සාරි ගෙ ඇස් මගෙ දම්මිකාගෙ ඇස් තරම් දිගටිත් නැහැ! අනේ අපේ ගායකයාට් ඇති වෙලා දැන් පේව්මන්ට් එකේ ඉඳගන හිඟමන් යදිනවා සින්දු කිය කියා! විෂුවල් එකට අර කෙල්ල අඳුම්ම කීයක් මාරු කෙරුවද? ඔක්කොම සල්ලිනේ බොලල්ලා! ගායකයා ගැන ලොකූ අනුකම්පාවක් ඇති වුනා මගේ හිතේ.
හත් ඉලවුවේ! මම දම්මිකා එක්ක කොරපුවා මොනවද කියලා හිතෙනවා මුං විෂුවල් එකේ ලෝකෙටම පෙනෙන්න කොරන එවුවා දැක්කහම! පොඩි එකාගෙ ඇස් ගෙඩි දෙක එලියට පැනලා බලාගෙන ඉන්නවා! මං ඌව ගහලා පැන්නුවා එළියට!
ඇනේ මේ ගායකයාට සින්දුව කියන්න දෙන්නෙම නෑනෙ මුං! ටෙලි නාට්යයක් අස්සේ සින්දුව කඩලා කඩලා රිංගෙවුවා වගේ. පාං කෑලි කඩ කඩා හොදි එකට දාන ගමන් මම හිතුවා. ගායකයට විතරක් නෙවෙයි නලුවට වත් කථා කරන්න දෙන්නෙ නෑනෙ මේ කෙල්ලෝ දෙන්නා! අපේ ගෑනිගෙ කට වගේ තමයි! කොයි වෙලාවෙත් අර FM චැනල් වගේ! තොරතෝංචියක් නැතුව කියවනවා!
පාං කෑල්ලක් කටට ගන්න හැදුවා විතරයි! දෙයි හාමුදුරුවනේ, අර කෙල්ල වාහනේකට හැප්පෙච්චි! මගේ හොදි පිඟාන අතින් ගිලිහිලා බිම වැටිලා මහා සද්දයක් එක්ක කෑලි කෑලි වලට කැඩුනා! දැන් මටත් තියෙන්නේ අර පවන් කරන දේ කරන්න විතරයි අපේ නෝනා හේවිසි ගහන්න ඉස්සෙල්ලා! මං හනික අල්ලපු ඉඩමේ බිල්ඩිමේ උඩම තට්ටුවට නැගලා කකුලක් ඉස්සරහට තියලා බිම බැලුවා පවන් වගේම! දම්මිකා පාර දිගේ එළවලු අරං ගෙදර යනවා! දිගු දෑස දුටුවාම...... හැඟෙනවා පෙර සේම.... උන්නු හැටි මගෙ ගාව.....ඔය හිතට අමතකද....! මම ඉස්සරහට තිබ්බ කකුල ආපහු අරගත්තා………….


Posted Time: 12/02/15 06:32:26 PM
News Views:3673